Monday, August 8, 2011

තවත් එක් නිමේෂයක ඉර පායා තිබිණි| අඳුරුය...


ජනේලය ඇරියාම උදේ පාන්දරම එන සිසිල් සුළඟින් හිත පිරුණා කියලා ස්ටේටස් අප්ඩේට් කළාට ,
බෝඩිම් කාමරයට තිබුණෙ එකම එක දොරක් විතරයි. ලෑලි වල හිල් අස්සෙන් එන හිරු එළිය.. ඇඳටත්, සිමෙන්ති කැඩිලා පුංචි වලවල් හැදුන පොළවටත් පාත් වුණේ පුංචි ඉරි කෑලි වගේ..

ඊයෙ බත් කද්දි ඒ වල ඇතුළට වැටුණු බත් ඇට තුන, හතර, නිදි මතේ අතු ගාද්දි  මඟ ඇරිලා.. දිග කූඹි පෝළිමක් හෙමින් හෙමින් බත් ඇටය උස්සගෙන යන්න ඇවිත්. වලට උඩින් වැටෙන හිරු ලපය නිසාද මන්දා උන් පේන්නෙත් රත්තරං පාටට..

මම තව ස්ටේටස් එකක් අප්ඩේට් කළා.. අඩු ගාණට ගත්ත චයිනීස් ෆෝන් එක නැති වෙන්න, ජීවිතේම මහා පාලුවක් වෙන්න ඉඩ තිබ්බා.. මම මම නෙවෙයි වගේ මුහුණු පොතේ හැසිරුණා සෑහෙන්න කල්.... ඇත්ත නම ශ්‍රීමා වුණාට , මම එතන ඉන්නෙ සංසලා කියලා.. මේ දවස් වල ජනප්‍රිය නමක් නිසා රික්වෙස්ට් කෝටියයි.. මට

වැඩ කරන්නෙ ගාමන්ට් එකක බව ඒකෙ ෆ්‍රෙන්ඩ්ස්ලා කවුරුත් දන්නෙ නැහැ... දාලා තියෙන ප්‍රොෆයිල් පින්තූරෙ නිසාද මන්දා මඟුල් යෝජනා තුනක්ම ආවා....

අක්කටත් ගමේ ගියාම කියන්න ඕනේ, මෙයින් එකක් හදා ගන්න කියලා ....

ඇයි දෙයියනේ නිකන් ගෙදෙට්ට නාකිවෙන එකේ ආතල් එකක්වත් ගන්න බැරියෑ..... කාව හරි අල්ලගත්තොත්... මේකෙ ඉන්නෙ ඔක්කොම ලොක්කො.. එක සොක්කෙක් වත් නැහැ.

මාව හම්බ වෙන අද හවසට කෙනෙක් වෙලාවක් ඉල්ලුවා. කටුනායකදි හම්බවුණොත් ඔක්කොම ඉවර නිසයි මම මගට එන්න තැනක් ගැන කිව්වෙ... තියෙන හොඳම ඇඳුම ඇඳගෙන යන්න ඕනේ... එයා හාඩ් වෙයාර් ඉන්ජිනේරුවෙක්ලුනෙ... බර අත්තක් වෙන්න ඇති.

මම දොර ඇරියා.. පයිප්පෙ ළඟ පෝළිමට සෙනඟ පිරිලා

කපුටො රංචුවක්.. කඩේ ඉස්සරහ විසි කරපු පිලුණු වඩේ එකකට පොර කනවා.... මුන් කොයි තරම් නම් මෝඩද?

අර හවසට එන කෙනා හාඩ්වෙයාර් ඉංජිනේරුවෙක් නොවී ත්‍රීවිල් ඩ්‍රයිවර් කෙනෙක් වුණා නම් කියලා මට හදිස්සියෙ ම හිතුනා...

ඒ හිතිවිල්ල එක්කම විසාකා දොරෙන් ගෙට ගොඩ වුණා.. ඊයෙ රෑ  නයිට් ශිෆ්ට් එක ඉවර වෙලා..

"ඉක්මනට ලෑස්ති වෙලා පලයන්. අන්න සුපයිසරය කිව්වා.. අද උඹව හත වෙනකන් තියා ගන්නවා කියලා.. ඇත්තට බං... පහට වැඩ ඉවරනම් ඉතුරු පැය දෙක ?"  ඇගේ මුහුණෙ තිබ්බෙ ඉරිසියාකාර හිනාවක්..

මම ආයෙත් එළිය බැලුවා.. ටැප් එකේ වතුර ගලා ගෙන ගිහින් පීල්ල දිගේ කුණු කාණුවට වැටුණා. ඒ කාණුවට ඉහලින් ඉර පායනවාද කියලා බලන්න මට අමතක වුණා.





ඇගේ කාමරය දිහා හිල් අස්සෙන් බලා ගෙන ඇගේ ඇස් කියවූ මම
සාෂා



Saturday, August 6, 2011

ආත්මය විනිවිදීමට අවැසි විය| නොහැකි විය.



ඇස් දෙක ඉස්සරහ මහ දරුණු සීතලක් දැනෙන්න ගත්තා.පපුවෙ හිර වෙලා ඉන්න දඟලපු අන්තිම වායු කදම්භය බීම බටයක් දිගේ ක්ෂණිකව උඩට ආවා වගේ තේරුණා.මගේ ආත්මය දැන් මම ඉස්සරහ .
 

"වරෙන් මගෙ ඇඟ ඇතුළට" මම කෑ ගැහුවා.
"මම උඹ ළඟ තවත් ඉන්නෙ නැහැ" ඇය ගේ ප්‍රකාශය හරිම දරුණුයි.නමුත් අව්‍යාජයි.මට ඒක දැනුණෙ ඇගේ ඇස් වලින්.ඇය හිටියෙ පුදුම තරහකින්...
"ඇයි උඹ මං ගැන නොහිතන්නෙ?" මම ආයාචනා කළේ,බලාපොරොත්තුවක් රහිතව.ඇය ඉල්ලපු එක දෙයක් වත් මම ඇයට දීලා තියනවාද? ඒ අතින් ගත්තම මේතරම් කල් මගෙ ළග හිටිය එක ලොකු දෙයක්...

ඇයට ඕනේ වුණා පොඩි කාලෙ සහෝදරයෙක්..මම ඇයට කිව්වෙ හිතෙන් එහෙම එකෙක් මවා ගනින් කියලා...ඇයට ඕනේ වුණා පොඩි කාලෙ යාලුවො එක්ක විනෝද වෙන්න.මම ඇයට කිව්වෙ තනියම විනෝද වීමක් ගැන හිතීම සුන්දරයි කියලා...ඒ ඔක්කොම එහෙම විය යුතුයි කියලා තීරණය කළේ මම නෙවෙයි..වටේ හිටි අය...මම කළේ ඇයට ඒ බව තේරුම් කරපු එක විතරයි..

මම නිසා ඇයට කාලෙන් කාලෙට විවිධ දේවල් කරන්න වුණා.. හුඟක් දුක් විඳින්නත් වෙන්න ඇති.

අවුරුදු බින්දුවෙ ඉඳන් විස්ස වෙනකන් ම ඇය බෝනික්කෙක් වුණා..(ඒ ගෙදරට).හයේ ඉඳන් විසි හතර වෙනකන් ම ඇය රොබෝ වරියක්..(ඒ ගුරුවරුන්ට සහා සම වයසෙ යාලුවො කියලා පෙන්නලා දීපු අයට),විසි එකේ ඉඳන් මේ වෙනකන් මෘදුකාංගයක් (ඒ පෙම්වතාට,පසු කාලීන සැමියාට)....

මම ආත්මය ඇතුළෙ ඉන්න ගැහැණු ආත්මෙට එළියට එන්න ඉඩ නොදුන්න "පාපතරයෙක්"....මට හිතුණා..ඒත් එහෙම වුණා නම්!
අවිනීත දැරියක්.අකීකරු සිසුවියක්..චපල පෙම්වතියක්..!කොටින්ම ගණිකාවක්...

මම මේ ඔක්කොම කියා ගෙන කියා ගෙන  ගියා..හරිම වේගෙන්...ඒ වාගෙම ආවේගෙන්...ඒත්
ආත්මය මට සවන් දුන්නෙම නැහැ...තුට්ටුවකටවත්..

"පලයන් තවත් කලලයක් ඇතුළට. කොහොමත් මම හාට් ඇටැක් එකකින් මැරුණා කියන එක සෑහෙන්න ආඩම්බරයි."

මහත්තයාගෙ තත්වෙටත් හොඳයි.දරුවන්ගෙ අනාගතේටත් හොඳයි.වහ බිව්වා.එල්ලිලා මැරුණා කිව්වොත් ඒක ඒ අයට නරකයි...අනික හැමොම කියයි වාසනාවන්ත මරණයක් කියලා..දුක් නොවිඳපු මරණයක් කියලා..

අහ් "මරණය ජීවත් වීමට වඩා පහසුයි"....ඇයට කියන්න පෙර ඇය ගියා.

ආත්මය ගියා...යන්නම ගියා..වෙනත් වෙසකින් ඇය නැවත උත්පත්තිය ලබයි.ශක්ති සංස්ථිති නියමය ට අනුව ඒක එහෙමයි...මම පොළවට පෝර වෙයි..නැත්තම් අලු වෙලා ගඟකට දියාරු වෙයි...ඒකත් ශක්ති සංස්ථිති නියමයම තමයි.

 


මනෝකාය ගැන කතා කරන රටේ ශරීරයට වරක් හෝ පෙම් බැදි මම

සාෂා රෙමිඩියාස්